Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 129

11

فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ ۗ وَنُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ

ඔවුන් (තමන්ගේ ප්‍රතික්ෂේපයෙන් ඈත් වී) පසුතැවිලි වී සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් (ඔවුන්) ඔබගේ ධර්ම සහෝදරයින්ය. දැනුම ඇති ජනතාවට අපි (අපගේ) ආයාවන් (මෙසේ) විවරණය කරන්නෙමු.

ප්රතික්ෂේප කළ ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ප්රතිපත්තිමය ප්රකාශ දෙක පවසා, සලාතය විධිමත් ව ඉටු කර, ඔවුන්ගේ වස්තුවෙන් සකාත් ද පිරිනැමුවේ නම් සැබැවින්ම ඔවුන් දෙවියන්ට අවනත වූ මුස්ලිම්වරුන් බවට පත් වනු ඇත. දහම තුළ ඔවුන් නුඹලාගේ සහෝදරයෝ වෙති. නුඹලා සතු දෑ ඔවුනට ද සතුය. නුඹලා මත පැවරෙන දෑ ඔවුන් වෙත ද පැවරෙනු ඇත. ඔවුන් ඝාතනය කිරීම නුඹලාට අනුමත නැත. ඔවුන්ගේ ඉස්ලාමය විසින් ඔවුන්ගේ ප්රාණය, ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ මාන්යය සුරකිනු ලබනු ඇත. වටහා ගන්නා ජනයාට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු. එමගින් ඔවුන් ප්රයෝජන ලබනු ඇත. එමෙන්ම ඔවුන් හැර වෙනත් අය ද ප්රයෝජන ලබනු ඇත.

12

وَإِن نَّكَثُوٓا۟ أَيْمَٰنَهُم مِّنۢ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا۟ فِى دِينِكُمْ فَقَٰتِلُوٓا۟ أَئِمَّةَ ٱلْكُفْرِ ۙ إِنَّهُمْ لَآ أَيْمَٰنَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ

(දිව්රා) ගිවිසුම් ඇති කර ගැනීමෙන් පසුවද ඔවුන් තමන්ගේ දිව්රුම් කඩ කර, ඔබගේ ධර්මය ගැනද, අඩුපාඩුකම් පවසමින් සිටියහොත් (නියත වශයෙන්ම) ප්‍රතික්ෂේප කරන්නන්ගේ (මෙවැනි) ප්‍රධානීන් සමග යුද්ධ කරනු. මන්දයත් ඔවුන්ගේ ගිවිසුමෙහි ස්ථීරත්වයක් නැත. (මෙවැනි නපුරෙන්) ඔවුන් ඈත් විය හැකිය.

නියමිත කාලයක් දක්වා යුද වැදීම අතහැර දමන බවට නුඹලා ගිවිසුම් ඇති කර ගත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඔවුන්ගේ ගිවිසුම් හා ප්රතිඥාවන් කඩ කරන්නේ නම්, ඔවුන් නුඹලාගේ දහමට දොස් නගන්නේ නම්, ඒ ගැන අඩුපාඩු කියන්නේ නම් නුඹලා ඔවුන් සමග සටන් කරනු. ඔවුන් ප්රතික්ෂේපයේ නායකයින් හා ප්රධානීන් වෙති. ඔවුන්ගේ ප්රාණ රඳවා තබන ගිවිසුම් හෝ ප්රතිඥා ඔවුනට නැත. ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් හා ගිවිසුම් කඩකිරීමෙන් වැළකී සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙන් නුඹලා ඔවුන් සමග සටන් කරනු.

13

أَلَا تُقَٰتِلُونَ قَوْمًۭا نَّكَثُوٓا۟ أَيْمَٰنَهُمْ وَهَمُّوا۟ بِإِخْرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ

තමන්ගේ සත්‍යය ගිවිසුම් කඩ කර, (අපගේ) දූතයාව (රටින්) පිටමං කිරීමට අදහස් කර, උත්සාහ කළ ජනතාව සමග ඔබ යුද්ධ කළ යුතු නොවේද? ඔවුන්ම (මෙවැනි නපුර) ඔබ වෙත පළමුවෙන්ම ආරම්භ කළහ. ඔවුන්ට ඔබ බිය වන්නෙහුද? (ඇත්තෙන්ම) ඔබ විශ්වාසවන්තයින් නම්, ඔබ බිය විය යුත්තා අල්ලාහ් (එක් කෙනෙකුම) පමණි.

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! තම ගිවිසුම් හා ප්රතිඥා කඩ කරන පිරිසක් සමග නුඹලා යුද නොවදිනුයේ මන් ද? ඔවුන් දාරුන් නද්වා හි ඔවුන්ගේ රැස්වීම් වලදී දූතයාණන් ව මක්කාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කළෝය. නබි තුමාණන්ට දිවුරුම් දුන් කුසාආ ගෝත්රයට එරෙහි ව කුරෙය්ෂ්වරුන්ට දිවුරුම් දුන් බක්රා ගෝත්රයට ඔවුන් උපකාර කළ අවස්ථාවේ පළමු වරට යුද්ධය ආරම්භ කළේ ඔවුහුය. නුඹලා ඔවුනට බිය වී ඔවුන් සමග යුද වැදීමට පෙරමුණ නොගන්නෙහු ද? නුඹලා සැබෑ විශ්වාසීන් නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා පිවිතුරු අල්ලාහ්ය.

14

قَٰتِلُوهُمْ يُعَذِّبْهُمُ ٱللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍۢ مُّؤْمِنِينَ

ඔබ ඔවුන් සමග යුද්ධ කරනු. ඔබගේ අත්වලින්ම අල්ලාහ් ඔවුන්ට දඬුවම් කර ඔවුන්ව අවමන් කර, ඔවුන්ව ඔබ කපා මරා දමන්නටද, ඔබට උදව් කර, විශ්වාසය තැබූ ජනතාවගෙන් හෘදයන්ට සහනයක්ද ලබා දෙනු ඇත.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! දෙවියන්ට ආදේශ තබන මොවුන් සමග නුඹලා සටන් කරනු. හේතුව සැබැවින්ම නුඹලා ඔවුන් සමග සටන් කරන්නේ නම් අල්ලාහ් නුඹලාගේ දෑතින් ඔවුනට දඬුවම් කරනු ඇත. එය නුඹලා ඔවුන් ව මරා දැමීමෙනි. ඔවුන් අන්ත පරාජයට පත් කරමින්, ඔවුන් සිරභාරයට පත් කරමින්, ඔවුන් අවමානයට පත් කරනු ඇත. නුඹලා ඔවුන් අභිබවා යන්නට සලස්වා නුඹලාට ඔහු උදව් කරනු ඇත. යුද්ධය නොදුටු දේව විශ්වාසී ජනයාගේ හදවත් තුළ පවතින රෝගය, ඔවුන්ගේ සතුරන් ඝාතනය කරනු ලැබීම, සිරභාරයට ගනු ලැබීම හා අන්ත පරාජයට පත්වීම යනාදි වශයෙන් ඔවුනට අත් වූ ඉරණම හා ඔවුනට එරෙහි ව දේව විශ්වාසීන්ට අත් වූ ජයග්රහණය තුළින් ඔහු සුවපත් කරනු ඇත.

15

وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

(ඔවුන් කෙරෙහි) මොවුන්ගේ හෘදයන්හි (දෝංකාර දෙමින්) ඇති කෝපයද පහ කර හරිනු ඇත. අල්ලාහ් (ඔවුන්ගෙන්ද) තමන් අදහස් කරන්නන්ගේ සමාව ඉල්ලීම බාර ගන්නේය. මන්දයත් අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

දේව විශ්වාසීන්ට අත් වූ ජයග්රහණය හේතුවෙන් එම ගැත්තන්ගේ හදවත් තුළ ඔහු ක්රෝධය දුරස් කරනු ඇත. මක්කා ජයග්රහණයේදී ඇතැම් මක්කා වාසීන්ට අත් වූවාක් මෙන් මෙම මුරණ්ඩුකම් ඇත්තන් පාප ක්ෂමාවේ නිරත වූයේ නම් අල්ලාහ් තමන් අභිමත කරන්නන්හට සමාව දෙනු ඇත. ඔවුන් අතර සැබෑ ලෙස පාප ක්ෂමාවෙහි නිරත වන්නා කවුරුන් දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ සැලසුමෙහි හා ඔහු ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.

16

أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُوا۟ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَلَمْ يَتَّخِذُوا۟ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلْمُؤْمِنِينَ وَلِيجَةًۭ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (ඇත්තෙන්ම හිත ඇතිවම) යුද්ධ කළ අය කවුරුන්ද යන්න අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාසවන්තයින්වද හැර, (වෙන කිසිවෙකුවත් තමන්ගේ) අභ්‍යන්තරය දැන ගන්නා මිතුරන් බවට (ඔබගෙන්) කිසිවෙකුත් ඇර ගත්තේ නැත යන්නද, (අල්ලාහ් ඔබව පිරික්සුමට ලක් කර) නොදැන, ඔබව අත්හැර දමනු ලබන්නෙහුය යයි අදහස් කළෙහුද? අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

අහෝ දේව විශ්වාසී ජනයිනි! කිසිදු පරීක්ෂණයකින් තොරව අල්ලාහ් නුඹලා ව අතහැර දමනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? පරීක්ෂාවට ලක් කිරීම ඔහුගේ න්යායයන් අතරින් එක් න්යායයකි. නුඹලා අතරින් අල්ලාහ් සමග හෝ ඔහුගේ දූතයාණන් සමග හෝ දේවත්වය විශ්වාස කරන සෙසු මුඃමින්වරුන් සමග හෝ හැර එමෙන්ම දේව ප්රතික්ෂේපකයින් සමඟ රහසිගත ව මිතුදම් නොපාන අල්ලාහ්ට අවංකව කැපවන ගැත්තන් කවුරුන්දැයි ද, ඔවුන් අතර සාධාරණ ව කටයුතු කරන නිර්මල උදවිය කවුරුන්දැයි ද, අල්ලාහ් ප්රත්යක්ෂ කර ගන්නා තෙක් නුඹලාව පරීක්ෂාවට භාජනය කරනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

17

مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا۟ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلْكُفْرِ ۚ أُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ وَفِى ٱلنَّارِ هُمْ خَٰلِدُونَ

සමානයන් තබා නමදින මොවුන් තමන් ප්‍රතික්ෂේප කරන්නන්ම යයි (ප්‍රසිද්ධියේ) පවසමින් සිටින තුරු අල්ලාහ්ගේ නැමදුම්පළවල් පරිපාලනය කිරීමට ඔවුන්ට අයිතියක් නැත. ඔවුන්ගේ සෑම හොඳක්ම විනාශ කර දමනු ලැබීය. ඔවුන් සැමදා නිරයෙහිම රැඳී සිටිනු ඇත.

අල්ලාහ්ට ආදේශ තබන්නන්, ඔහු විසින් ඔවුනට හෙළි කරනු ලැබූ දෑ ඔවුන් විසින්ම ප්රතික්ෂේප කිරීම පිළිගෙන සිටින තත්ත්වයේ නැමදුම් හා වෙනත් ඇදිහිලි මගින් අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවන්නේය. තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ ඔවුන්මය. එය පිළිගැනීම සඳහා අවශ්ය ඊමාන් නම් කොන්දේසිය ඔවුන් අහිමි කර ගෙන ඇත. නමුත් ඔවුහු ඔවුන්ගේ මරණයට පෙර පාප ක්ෂමාවේ නිරත වූයේ නම් මිස, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ සදා පිවිසෙනු ඇත.

18

إِنَّمَا يَعْمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمْ يَخْشَ إِلَّا ٱللَّهَ ۖ فَعَسَىٰٓ أُو۟لَٰٓئِكَ أَن يَكُونُوا۟ مِنَ ٱلْمُهْتَدِينَ

කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිට, අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් බිය නොවීද සිටින්නෝද, ඔවුන්ම අල්ලාහ්ගේ නැමදුම්පළවල් පරිපාලනය කළ හැකි අය වන්නේය. මෙවැන්නන්ම ඍජු මාර්ගයෙහි සිටින බවට විශ්වාසය තැබිය හැකි අයයි.

මස්ජිද් පරිපාලනය කිරීමටත්, ඒවායෙහි යුතුකම් ඉටු කිරීමටත් සුදුස්සන් වනුයේ, කිසිවක් අල්ලාහ්ට ආදේශ නොකර, ඔහු ව පමණක් විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ විශ්වාස කරන, සලාතය ඉටු කරන, තම ධනයෙන් සකාත් ද පිරිනමන, අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නොවන අය හටය. ඍජු මාර්ගය වෙත මග ලබන්නට අපේක්ෂා කරන්නෝ මොවූහුය. දේව ආදේශකයින් වනාහි එයින් වඩාත් දුරස් ව සිටින්නට බලන්නෝ වෙති.

19

۞ أَجَعَلْتُمْ سِقَايَةَ ٱلْحَآجِّ وَعِمَارَةَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ كَمَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَجَٰهَدَ فِى سَبِيلِ ٱللَّهِ ۚ لَا يَسْتَوُۥنَ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නන්ට සමාන වශයෙන්, (විශ්වාස නොකර සිටිමින්) හාජිවරුන්ට වතුර ලබා දෙන්නන්වද, ශුද්ධ වූ එම නැමදුම්පළට සේවය කරන්නන්වද, ඔබ පත් කළෙහුද? අල්ලාහ්ගේ සමූහයෙහි මොවුන් (මේ දෙදෙනා) සම වන්නේ නැත. අල්ලාහ් අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! කිසිවක් අල්ලාහ්ට ආදේශ නොකර, ඔහු ව පමණක් විශ්වාස කර, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කර, අල්ලාහ්ගේ වදන උසස් වීමට හා දේව ප්රතික්ෂේපකයින්ගේ වදන පහත් කිරීම සඳහා තම ප්රාණය හා වස්තුව පරදුවට තබා කැපවන අය මෙන් මස්ජිදය පරිපාලනය කිරීමේ හා පැමිණෙන හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීමේ කටයුතු මෙහෙයවන්නන් නුඹලා පත් කරන්නෙහු ද? අල්ලාහ් අබියස ඇති මහිමයෙහි නුඹලා ඔවුන් සමාන තත්ත්වයෙහි සලකන්නෙහු ද? කිසිවිටෙක අල්ලාහ් අබියස ඔවුන් සම තත්ත්වයේ පසුවන්නේ නැත. හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීම වැනි යහපත් ක්රියාවන් කළ ද, දේව ආදේශය හේතුවෙන් අපරාධකරුවන්ට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.

20

ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ ٱللَّهِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ

කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටින් පිටමං වී අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර, යුද්ධ කරන්නෝද, ඔවුන් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉමහත් වූ පදවි අත් කර ගත් අයයි. මෙවැන්නන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළ අයයි.

අල්ලාහ් ව විශ්වාස කිරීම, දෙවියන් ප්රතික්ෂේප කරන දේශයකින් නික්ම වී ඉස්ලාමීය දේශය වෙත පියනැගීම, තම වස්තුව හා ජීවිත පරදුවට තබා අල්ලාහ්ගේ මාර්ගයේ කැප වී කටයුතු කිරීම යනාදී කරුණු එකට සිදු කළ අය වනාහි, ඔවුන් සෙසු අයට වඩා අල්ලාහ් ඉදිරියේ තරාතිරමින් උසස් අය වෙති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ස්වර්ගයේ ජයග්රාහකයෝ ඔවූහුමය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.