Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 123

61

۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌۭ مُّجِيبٌۭ

සමූද් (නමැති ජනතාව) වෙත ඔහුගේ සහෝදර සාලිහ් (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔබට ඔහු හැර, වෙන කිසිම දෙවියෙකු නැත. ඔහුම ඔබව භූමියෙන් උත්පාදනය කළේය. එහිම ඔහු ඔබව ජීවත් වීමටද සැලැස්සුවේය. එබැවින් ඔබ, ඔහු වෙතම සමාව ඉල්ලා ඔහු දෙසටම හැරෙනු. නියත වශයෙන්ම මගේ දෙවියන් (ඔබට) ඉතාමත් සමීපස්තයෙකු වශයෙන්ද, (ප්‍රාර්ථනාවන්) බාර ගන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය.

සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව අපි එව්වෙමු. ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමද ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නුඹලාට නැත. මහපොළොවේ පසින් නුඹලාගේ පියාණන් ආදම් මවා පසුව ඔහුගෙන් නුඹලා ව ඔහු මැව්වේය. එහි පාලකයින් බවට ද නුඹලා ව ඔහු පත් කළේය. එහෙයින් නුඹලා ඔහුගෙන් සමාව අයැද සිටිනු. පසුව අවනතව කටයුතු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහු වෙතට යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුට අවංකව කටයුතු කරන්නන් හට ඉතා සමිපය. එවැන්නන්ගේ ප්රාර්ථනාව පිළිගන්නාය.

62

قَالُوا۟ يَٰصَٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّۭا قَبْلَ هَٰذَآ ۖ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍۢ

එයට ඔවුන් (සාලිහ් නබිට) “ඕ සාලිහ්! මීට පෙර නම්, ඔබ අපගේ විශ්වාසයට අයත් කෙනෙකු වශයෙන් සිටියෙහිය. අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව අපි නොනැමදිය යුතුය යයි ඔබ අපව වළක්වන්නෙහිද? ඔබ අපව කුමක් කෙරෙහි ආරාධනා කරන්නෙහිද, ඒ ගැන නියත වශයෙන්ම අපි ඉමහත් සැකයෙහිම සිටින්නෙමු” යයි පැවසූහ.

ඔහුගේ ජනයා ඔහුට, "අහෝ සාලිහ්! ඔබ මේ ඇරයුම කිරීමට පෙර අප අතර උසස් නිලයක් ඇති පුද්ගලයෙකු විය. උපදේශන හා සාකච්ඡා කරන බුද්ධිමත් අයකු ලෙස අපි සිතා සිටියෙමු. අහෝ සාලිහ්! අපගේ මුතුන්මිත්තන් කවර දෙයකට නමදිමින් සිටියේ ද ඒවායින් ඔබ අප වළක්වන්නෙහිද? අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔබ අපට කරන ඇරයුම සම්බන්ධයෙන් අපි සැකයෙහි පසුවෙමු. අල්ලාහ් කෙරෙහි බොරු ගෙතීම සම්බන්ධයෙන් අපි ඔබට චෝදනා කිරීමට සිදු ව ඇත.

63

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى مِنْهُ رَحْمَةًۭ فَمَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِنْ عَصَيْتُهُۥ ۖ فَمَا تَزِيدُونَنِى غَيْرَ تَخْسِيرٍۢ

එයට ඔහු “මගේ ජනතාවෙනි! මා මගේ දෙවියන්ගේ පැහැදිලි සාධකයන් මත සිටියදී, ඔහු තම සන්නිධානයෙන් (නබිත්වයද) පහළ කරමින් සිටියදී, මා ඔහුට වෙනස්කම් කළහොත් (ඔහු මා හට දඬුවම් නොකරාවිද? ඒ අවස්ථාවේදී) අල්ලාහ් වෙත මා හට උදව් කරන්නා කවරෙක්ද යන්න ඔබ අවධානය කළෙහිද? ඔබ නම්, මා හට පරාජය මිස, (වෙන කිසිවක්) වැඩි කර දෙන්නේ නැත” යයි පැවසුවේය.

සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔහුගේ ජනයාට පිළිතුරු දෙමින්: ‘මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මා හිඳ ඔහුගෙන් වූ නබිත්වයේ ආශිර්වාදය ඔහු මට පිරිනමා තිබිය දී, නුඹලා වෙත කවර කරුණක් දන්වා සිටින්නැයි මට අණ කර ඇත්තේ ද එය දැන්වීම අතහැර දමා ඔහුට පිටුපෑවේ නම් ඔහුගේ දඬුවමින් මා වළක්වනුයේ කවුරුන්දැ?යි යන වග මට දන්වා සිටිනු. නුඹලා මට නොමග හා ඔහුගේ තෘප්තියේ දුරස්භාවය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත.

64

وَيَٰقَوْمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةًۭ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابٌۭ قَرِيبٌۭ

තවද “මගේ ජනතාවෙනි! අල්ලාහ්ගේ එක් ඔටු දෙනකි. ඔබට මෙය සාධකයක් වශයෙන්ම පහළ කර ඇත්තේය. එබැවින් අල්ලාහ්ගේ භූමියෙහි (ඌ කැමති ස්ථානයක) උලා කෑමට අත්හැර දමනු. ඌට යම්කිසි හානියක් කිරීමට (අදහස් කර), ඌව ස්පර්ශ නොකරනු. එසේ කළහොත් ඉතාමත් ඉක්මනින් දඬුවම ඔබව අල්ලා ගනු ඇත” (යයිද පැවසුවේය).

අහෝ ජනයිනි, නුඹලා වෙනුවෙන් වූ මෙම ඔටු දෙන මාගේ සත්යභාවය තහවුරු කරන සංකේතයකි. අල්ලාහ්ගේ භූමියේ උළා කන්නට ඌට ඉඩ හරිනු. කිසිදු හානියක් සිදු කරමින් ඌට බාධා නොකරනු. නුඹලා එය බිඳ දැමුවේ නම් ඉතා කෙටි කාලයක් තුළ දඬුවමක් නුඹලාට අත් වනු ඇත.

65

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا۟ فِى دَارِكُمْ ثَلَٰثَةَ أَيَّامٍۢ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍۢ

එහෙත් ඔවුන් (ඔහුගේ නියෝගයට වෙනස්කම් කර), උගේ (කකුලේ නහර) කපා දැමූහ. එබැවින් ඔහු (ඔවුන්ට “මින් පසුව) දින තුනක් දක්වා ඔබගේ නිවෙස්හි (සිටිමින්) ඔබ සැප විඳිය හැකිය. (ඉන් පසුව අල්ලාහ්ගේ දඬුවම ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇත). මෙය නොවරදින පොරොන්දුවක් වන්නේය” යයි පැවසුවේය.

ඔවුහු බොරු කරමින් උගේ ගෙල නහර කපා හැරියෝය. එවිට සාලිහ් ඔවුනට, "නුඹලා ඌ ඝාතනය කිරීමේ දින සිට දින තුනක කාලයක් නුඹලාගේ භූමියේ නුඹලා ජීවිතය භුක්ති විඳිනු. පසු ව නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවමක් පැමිණෙනු ඇත. ඉන් පසුව ඔහුගේ දඬුවම පැමිණීම බොරු කළ නොහැකි කිසිදු සැකයක් නැති සිදු වන ප්රතිඥාවක් බවට පත් වන්නේය. එය සත්යයේ ප්රතිඥාවයි." යැයි පැවසීය.

66

فَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا صَٰلِحًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَمِنْ خِزْىِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ

(ද`ඩුවම ගැන වූ) අපගේ නියෝගයට (අනුව දඬුවම) පැමිණි විට සාලිහ්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද, (දඬුවමෙන්ද) එදින අවමානයෙන්ද අපගේ දයාව මගින් අපි බේරා ගත්තෙමු. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ශක්තිවන්තයෙකු හා (සියල්ලට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියමය පැමිණි කල්හි, අපගෙන් වූ දයාවෙන් සාලිහ් හා ඔහු සමග වූ දේව විශ්වාස කළ ජනයා මුදවා ගත්තෙමු. එදින අවමානයෙන් හා පහත්භාවයෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි කිසිවෙකු විසින් ඔහු පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. එහෙයින් බොරුකාර සමූහයන් ඔහු විනාශ කර දැමීය.

67

وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ

එබැවින් සීමාව ඉක්මවූවන්ව හෙණ හඞ අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්හි සිටි ආකාරයටම මැරී වැටී සිටියදී හිරු උදා විය.

විනාශකාරී දැඩි හඬක් සමූද් ජනයා ග්රහණය කළේය. එහි බිහිසුණුකම හේතුවෙන් ඔවුහු මිය ගියෝය. මුණින් අත වැටෙන්නන් බවට පත් වූහ. ඔවුන්ගේ මුහුණු පසින් ඇලී ගියේය.

68

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّثَمُودَ

(එයට පෙර) එහි ඔවුන් කිසි කලෙක වාසය නොකළාක් මෙන් (කිසිම සළකුණක් නොමැතිව විනාශ වී ගියහ). නියත වශයෙන්ම සමූද් ජනතාව තම දෙවියන්ව ප්‍රතික්ෂේප කර හැරියහ. එම සමූද් ජනතාව කෙරෙහි ශාපය ඇති විය යන්න දැන ගනු.

ඔවුන්ගේ භූමිය තුළ, ආශිර්වාදාත්මක හා සාරවත් ජීවිතයක් ඔවුන් වාසය නොකළාක් මෙන් විය. දැනගනු සමූද් ජනයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ව ප්රතික්ෂේප කළෝය. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් දුරස්වෙමින්ම සිටියහ.

69

وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَٰمًۭا ۖ قَالَ سَلَٰمٌۭ ۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍۢ

නියත වශයෙන්ම (මලායිකාවරුන්ගෙන්) අපගේ දූතයින් වන ඉබ්රාහීම්ට ශුභාරංචි ගෙනැවිත් “(ඔබට) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පවැසූහ. (ඉබ්රාහීම් එයට පිළිතුරු වශයෙන් “ඔබටත්) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පැවසීමෙන් අනතුරුව පොඩියක් හෝ ප්‍රමාද නොවී (කුර්බාන් කර) තෙලෙන් බදින ලද වසු පැටවෙකුගේ මස් ගෙනැවිත් (ඔවුන් ඉදිරියේ) තැබුවේය.

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට හා ඔහුගේ බිරියට ඉස්හාක් හා පසු ව යඃකූබ් ගැන ශුභාරංචි දන්වා සිටින්නන් ලෙස දේව දූතයින් මිනිස් හැඩයින් එතුමා වෙත පැමිණියෝය. එවිට දේව දූතයෝ, "ඔබට සලාම්" ශාන්තිය අත්වේවා යැයි පැවසුවෝය. ඔවුනට පිළිතුරු වශයෙන් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ද "සලාම්" ඔබලාටත් ශාන්තිය අත්වේවා යැයි පවසා පිටව ගොස් ඔවුන් මිනිසුන් යයි සිතූ බැවින් ඔවුනට අනුභව කිරීම සඳහා බදින ලද වසු පැටවෙකු ඔවුන් වෙත ගෙන ආවේය.

70

فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍۢ

ඔවුන්ගේ අත් එය වෙත නොයනු ඔහු දුටු වහාම ඔවුන් ගැන සැක සිතූහ. ඔවුන් ගැන බියක්ද ඔහුගේ මනසෙහි හොල්මන් කරන්නට විය. (ඒ අවස්ථාවේදී) ඔවුන් (ඉබ්රාහීම්ට) “ඔබ බිය නොවනු. නියත වශයෙන්ම අපි ලුත්ගේ ජනතාව වෙත (ඔවුන්ව විනාශ කර දැමීමට) යවනු ලැබ ඇත්තෙමු” යයි පැවසූහ.

ඔවුන්ගේ අත් වසු පැටවා දෙසට යොමු නොවී ඔවුන් එයින් අනුභව නොකර එය පිළිකුල් කරනු ඉබ්රාහීම් තුමා දුටු කල්හි එතුමාගේ සිත තුළ රහසින්ම බියක් පහළ විය. මලක්වරුන් තමන් ගැන එතුමා බිය වූ බව දුටු කල්හි, ඔවුහු, "නුඹ අප ගැන බිය නොවනු. ලූත් ජනයාට දඬුවම් කරනු වස් ඔවුන් වෙත අල්ලාහ් අප එවා ඇත්තේ යැ"යි පැවසූහ.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.